0
ක්‍රීඩාවෙන් ලොව ජයගත් සුසන්තිකා ජයසිංහ ඇඹිලිපිටිය බෝධිරාජ  විද්‍යාලයට ඇවිත්.

ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ  විද්‍යාලයේ 2015 නිවාසාන්තර හා මලල ක්‍රිඩා උත්සවය පසු ගිය දා එම විද්‍යාලීය ක්‍රීඩාංගනයේ දී සුසන්තිකා ජයසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. මෙම ක්‍රිඩා උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ ඇය විද්‍යාලීය දරු දැරියන්ට තම අදහස් ප්‍රකාශ කළේ මෙසේය. "මම ඉගෙන ගත්තේ ඉතාම දුෂ්කර පාසලක. අපිට ක්‍රීඩා පහසුකම් කිසිවක් තිබුණේ නෑ. මගේ දෙමව්පියන් ඉතාම දුප්පත්. අපේ පවුලේ හත් දෙනෙක් හිටියා. පාන් ගෙඩිය කෑලි හතකට කපලා එක කෑල්ලක් කාපූ වාර ගණන අනන්තයි. එහෙම තමයි අපි පාසල් ගියේ. අපිට විදුහල්පති තුමා ඇතුළු ගුරු භවතුන් පාසලේ තිබෙන සම්පත් වල ප්‍රමාණය හැටියට අත දුන්නා. පාන් කෑල්ල කද්දී මට අම්මයි තාත්තයි එක්ක තරහත් ගියා. ඒත් මොනවා කරන්න ද ඒ ඒ අයට පුළුවන් හැටියට යි කන්න දුන්නේ. අපිව ලොකුමහත් කළේ එහෙම. ඒත් අපිට දැන් තේරෙනවා දෙමාපියන්ගේ වටිනාකම. මම ඒ සියළු දුක් මැද ජීවිතය ජය ගත්තා."දැනට ක්‍රීඩා අමාත්‍යාංශයේ මලල ක්‍රීඩා සංගමයේ උප සභාපතිනි සුසන්තික ජයසිංහ මහත්මිය එසේ තම අදහස් පෙළ ගැස්සුවාය.
මෙහිදී පාසල් ක්‍රීඩාව අරමුණු කරගනිමින් දරුවන්ට උපදේශනාත්මක අදහස් වැඩිදුරටත් ප්‍රකාශ කළ ඇය " මේ දරු දැරියන් තමන්ගේ දෙමාපියන් සමඟ තරහ ගන්න එපා ක්‍රීඩාවේ මූල ධර්මය වන්නේ ඉවසීම හා සහභාගී වීමයි. අද ඇඹිලිපිටිය වැනි දුෂ්කර පළාතක ක්‍රීඩවෙන් පමණක් නොවේ. හැම අංශයකින්ම ජාතික තලය ජයගත් දරුවන් ඉන්නවා. ලොව ජයගත් දරුවන් බිහිවන්නෙත් පාසලෙන්. මේ දරුවන්ගේ ක්‍රීඩා දක්ෂතා දැක්කම හරිම ආඩම්බරයි. මොවුන්ගේ ක්‍රීඩා කටයුතු ඉදිරියට ගෙනියන්න මසකට වරක් වත් මම ඇඹිලිපිටියට එනවාමයි. ඇය වැඩි දුරටත් ප්‍රකාශකළාය.
මෙම උත්සවය ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති ආචාර්යය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ උපදෙස් මත බෝධිරාජ විද්‍යාලයේ විදුහල්පති ශ්‍රී ලාල් හේරත් මහතා,නියෝජ්‍ය විදුහල්පති ශ්‍රාස්ත්‍රපති මාදම්පේ උදිත හිමි,ක්‍රීඩා භාර ආචාරිනී ආර්.කේ.පී.සන්ධ්‍යා රුවන් කුමාරි මිය ඇතුළු ක්‍රීඩා කමිටුව මඟින් සංවිධාන කර තිබුණි.
මෙදින විද්‍යාලයේ මෙම වසරේ හොදම ක්‍රීඩක ක්‍රීඩිකාවන් දස දෙනෙකු තෝරා ගැනීම හා දක්ෂතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව තෝරාගෙන ඔවුනට සම්මාන හා සහතික පත් ප්‍රධානය කිරීමත් සුසන්තිකා ජයසිංහ මහත්මිය අතින් සිදු වූ අතර ඇය අප ශ්‍රී ලංකා මාතාවට ඔලිම්පික් ක්‍රීඩාවෙන් ලබාදුන් අභිමානවත් ජයග්‍රහණය වෙනුවෙන් විද්‍යාලයේ දරු දැරියන් විසින් උපහාර තිළිණයක් පිරිනමන ලදී.
සටහන- විජය විදානපතිරණ.
5855 Total Views 1 Views Today

Categories: Top Stories

Leave A Reply